Friday 19th of June 2026

English Tamil
Advertiesment


ආර් සම්බන්ධන්ට ගරු කරමින් ජාතික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දෙනු 


2024-07-07 14882

 

13 නොපමාව සක්‍රීය කරනු 

 

අනාගත පරපුරට මේ ප්‍රශ්නය භාර නොදිය යුතුයි 

 

යුගයක් සංකේතවත් කළ ආර්. සම්බන්ධන් මහතාට ගරු කරමින් ජාතික ප්‍රශ්නයට තිරසාර විසදුමක් උදෙසා සියලු පාර්ශවයන් අධිෂ්ඨාන සහගතව ක්‍රියා කළ යුතු යැයි සාධාරණය සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා කියා සිටියි.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටින්නේ හිටපු විපක්ෂ නායක සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය සම්බන්ධයෙ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් වන අතර එම ශෝක පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ. 

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම දේශපාලඥයෙකු වූ රාජවරෝදියම් සම්බන්දන් මැතිතුමා එළැඹෙන ඉරිදා දිනයේ දී සමස්ත ජාතියටම සමුදිමට නියමිතය. තමන් නියෝජනය කරන ලද ජනතාව කෙරෙහි අප්‍රමාණ ආදරයකින් යුතුව සිය ජීවිත කාලය තුළම පෙනී සිටි එතුමා ආත්මාභිමානයෙන් යුතුව සෑම ජන කොට්ඨාශයකට ම එක්සත්ව ජීවත් විය හැකි රටක් වෙනුවෙන් නිරතුරුවම හඬ නැඟීය. එමෙන් ම රටේ මතු වන  ප්‍රශ්න සහගත සෑම  අවස්ථාවකදීම සමාජ සාධාරණත්වය හා යුක්තිගරුක විසදුම් කෙරෙහි විශ්වාසය තබමින් එතුමා සැම විටම පෙනි සිටියේ ය. 

ආර්. සම්බන්දන් මැතිතුමාගේ දේශපාලන හා සමාජක්‍රියාකාරිත්වය සැළකීමේ දී රටේ තීරණාත්මක යුග ගණනාවකට ම එතුමා දායක වී තිබේ. නිදහස ලබාගත් පසු මුල් යුගයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකත්ව ව්‍යාපාරය තුළ ද පසු කාලයෙහි දී උතුරු නැගෙනහිර ප්‍රදේශ මුල් කරගනිමින් ඇදි ගිය යුද ගැටුමට පසුබිම් වූ යුගය තුළ මෙන් ම යුද ගැටුමේ නිමාවෙන් පසු ගෙවමින් සිටින වර්තමාන යුගය තුළ ද එතුමාගේ පෙනී සිටීම ඉතාමත් ම ගරු කටයුතු ය. 

උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන ප්‍රමුඛතම දේශපාලන ප්‍රවාහයට නායකත්වය ලබා දුන්, කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක ධුරය ද හෙබ වූ ආර්. සම්බන්දන් මැතිතුමා දැයට සමුදෙන මෙවන් මොහොතක ශ්‍රි ලංකාවාසීන් ලෙස අප අපගේ අවධානය යොමු කල යුතු වැදගත් කරුණු කිහිපයක් ඇතැයි ද අපි විශ්වාස කරන්නෙමු. 

එනම් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබාගැනීම සඳහා ගෙන ගිය සටනේ දී මේ රටේ සියළුම ජන වර්ග නියෝජනය කළ ජාතික නායකයින් එකට එක්වෙමින් එකමුතුව ක්‍රියා කරන ලද්දේ වුව ද නිදහසින් පසු ගෙවුණු වසර 76 ක කාලය තුළ මේ රටේ ජීවත් වන ජනවර්ග අතර අන්‍යෝන්‍ය  විශ්වාසය පූර්ණ වශයෙන් තහවුරු කරගැනීමට අපි අපොහොසත්ව සිටින්නෙමු. 

ජාතික ඒ්කාග්‍රතාවය උදෙසා වන අප සතු වගකීම සැළකීමේ දී ආර්. සම්බන්දන් වැනි උදාර හා අහිංසාවාදි චරිතයක් අහිමි වීම රටට බලවත් පාඩුවකි. එහෙත් එතුමන් සිය සමස්ත ජීවිතය තුළින් ප්‍රදර්ශනය කළ කැපවීම අගය කරමින් එක්සත් ජාතියක් පිළිබඳව වන අපගේ අපේක්ෂාව අත්නොහැර ඉදිරියට ගෙන යාම හරහා රට තුළ තිරසාර ලෙස සාමය හා සංහිඳියාව තහවුරු කරගැනීම අප සතු වගකිමකි. 

ඒ් අනුව මේ රටේ ජාතික ප්‍රශ්නවලට විසදුම් ලබාගැනීම අප අපගේ අනාගත පරපුරට භාර කල යුතු නොවේ. එහි දි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප ඉල්ලා සිටින්නේ රටේ මූලික නීතියට ගරු කරමින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය නොපමාව ම සක්‍රීය කරන ලෙසට ය. එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ සිය අවධානය යොමු කරමින් සාමුහිකව ඉටු කල යුතුව ඇතැයි ද අපි විශ්වාස කරන්නෙමු.  එක් යුගයක් සංකේතවත් කළ ආර්. සම්බන්දන් මහතා දැයෙන් සමුගන්නා මෙම මොහොතේ දී ඒ් සඳහා අධිෂ්ඨාන සහගත වන ලෙස අපි සමස්ත ජාතියෙන් ම ඉල්ලා සිටින්නෙමු. 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment